
සමථ භාවනා වඩන අයට උපකාර වෙන්න බෞද්ධ හා බෞද්ධ නොවන භාවනා කීපයක් ගැන ලියන්න මම හිතුව. මුලින්ම තෝරාගත්තේ කසිණ භාවනා වලින් තේජෝ කසිණය. තේජෝ කසිණය වැඩිය හැකි කමටහන් 2ක් තියෙනවා.
විශුද්ධි මාර්ගයේ සඳහන් තේජෝ කසිණ භාවනාව
විශුද්ධි මාර්ගයේ සඳහන් හැටියට තේජෝ කසිණ වඩන යෝගාවචරයා මුලින්ම ලොකු ගිනි ගොඩක් සකස් කරන්න ඕනි. ඉන් පස්සේ ඒ ගින්න දිහා පැදුරක, රෙද්දක හෝ හමක රවුම් සිදුරක් තුලින් බලා ඉදිමින් භාවනා කරන්න ඕනි. මේ සිදුර වියතක් හා ඇඟිලි සතරක් එකට තිබ්බාම එන ප්‍රමාණයේ පළල සිදුරක් වෙන්න ඕනි. සිදුර සහිත පැදුර හා තමන් අතර දුර රියන් දෙකක් වෙන්න ඕනි. මෙතැනදී පැදුරක් ගන්න කියල තියෙන්නේ සිදුරෙන් පෙනෙන රවුම් ගින්න වටේට පෙනෙන බාහිර පරිසරය ඒකාකාරී වෙන්න ඕනි නිසා. පොඩි රෙදි කැබැල්ලක් භාවිතා කලොත් මැදින් ගිනි රවුමත්, ඒක වටේට රෙද්දත්, ඒක වටේට බාහිර පරිසරයත් පෙනෙනවා. එතකොට ගින්න ඇරෙන්න බාහිර පරිසරයේ ස්වභාව 2ක් තියෙනවා, ඒකාකාරී නෑ. ඒකාකාරී නැති බව හිත එක්තැන් කරන්න බාධාවක්. ඒ නිසා සිදුර හදාගන්න ඕනි ලොකු පැදුරක් ලොකු රෙද්දක් ලොකු හමක් වැනි දෙයකින්.
කසිණ නිමිත්ත
මේ විදියට සකස් කරගත්තාම සිදුර තුලින් පෙනෙන රවුම් ගින්න තමා කසිණ නිමිත්ත කියන්නේ. රවුම් සිදුර තුලින් පෙනෙන්න ඕනි ගින්නේ මැද කොටසයි. ගින්නේ මුල තියෙන දර, තණකොළ වැනි ගිනිගන්නා දේවල් හෝ ගින්නේ අග තියෙන දුම් රොටු දිහා බලාගෙන භාවනා කිරීමෙන් වැඩක් නෑ.
කසිණ නිමිත්ත දිහා ඔලුව නවන්නේ නැතුව උස්සන්නේ නැතුව සමව තියාගෙන බලන් ඉන්න පුළුවන් විදියට කසිණ නිමිත්තේ උස හදාගන්න. ඒ කියන්නේ කසිණ නිමිත්ත මුහුණ මට්ටමෙන් තියෙන්න ඕනි. මුහුණ නවා හෝ උස්සා බලාගෙන ඉදිමින් භාවනා කරන්න ගියොත් ටික වෙලාවකින් බෙල්ල රිදෙන්න ගන්නවා.
මේ විදියට නියමිත පළල සහිත රවුම් සිදුරකින් පෙනෙන ගින්න දිහා බලා ඉදිමින් තේජෝ තේජෝ ලෙස හෝ ගින්දර ගින්දර ආදී විදියට හිතමින් සිත එකඟ කරමින් භාවනා කරන්න. ගින්නේ වර්ණයන් හා උෂ්ණත්වය වැනි ලක්ෂණ ගැන හිතන්නෙපා. වෙනත් කිසිම සිතුවිල්ලක් නොහිතා තේජෝ තේජෝ විදියට හිතමින් භාවනා කරන්න. වෙනත් දෙයකට හිත ගියොත් ඒ සිතුවිලි පෝෂණය කරන්නෙත් නැතුව ඒවා සමග ගැටෙන්නේත් නැතුව ආපහු භාවනාවට සිත යොමු කරන්න. ටික වෙලාවක් ඇස් අරගෙන භාවනා කරලා ඇස් වහගෙන පෙනෙන කසිණ නිමිත්ත ( ගිනි රවුම ) අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් භාවනා කරන්න. කසිණ නිමිත්ත නොපෙනී යනකොට ඇස් ඇරලා නැවතත් කසිණ නිමිත්ත දිහා බලාගෙන ඉදිමින් භාවනා කරන්න.
උද්ග්‍රහ නිමිත්ත
මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී කසිණ නිමිත්ත ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන කසිණ නිමිත්ත තමයි තමයි උද්ග්‍රහ නිමිත්ත කියල හදුන්වන්නේ. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. ටික වෙලාවකින් ඒක නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ඇස් ඇරලා කසිණ නිමිත්ත දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න. ගිනි දැල් කැඩී කැඩී වැටෙනවා මෙන් උද්ග්‍රහ නිමිත්ත පෙනිය හැකි බව විශුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ වගේම උද්ග්‍රහ නිමිත්ත දකින්න බාධා වෙන විදියට උද්ග්‍රහ නිමිත්ත සමග අඟුරු , අළු හා දුම්රොටු වැනි ස්වභාව පෙනෙන්න පුළුවන් බව දැක්වෙනවා.
පටිග්‍රහ නිමිත්ත
එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කලාම ඇස වහගත්තම කසිණ නිමිත්ත එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. කලින් පෙනුණුට වඩා පැහැදිලිව පේනවා. අළු, දුම්රොටු වැනි බාධා කරන දේවල් නැතුව පැහැදිලිව පේනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි , නොසෙල්වෙන ගිනි රවුම තමා පටිග්‍රහ නිමිත්ත. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න.
මේ විදියට භාවනා කරනකොට හිත පටිග්‍රහ නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන ඉන්නවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්රතමධ්යානය කියන්නේ.
ගිනිදැල්ලක් මගින් තේජෝ කසිණය වැඩිම
තේජෝ කසිණය වැඩිම ගිනි ගොඩක් ගසාගෙන කිරීම සාමාන්‍ය ජිවිත ගත කරන අයට අමාරු වැඩක්. ගිනි ගොඩක් භාවිතා නොකර ගිනි දැල්ලක් භාවිතයෙන් තේජෝ භාවනාව වඩන්න පුළුවන්. මම ප්‍රායෝගිකව කරලා ප්‍රතිපල ලබාගෙන තිබෙන්නේ ගිනි දැල්ල භාවිතය. කසිණ නිමිත්තේ ස්වභාවය වෙනස් උනත් විශුද්ධි මාර්ගයේ සඳහන් ක්‍රමය වගේම මේ ක්‍රමයෙන් ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
මේ සදහා අදුරු පරිසරයක් අවශ්‍යයි. රාත්‍රී වෙලාවට භාවනා කිරීම වඩාත් සුදුසුයි. භාවනා කරන තැන ඉදිරියෙන් ඉටිපන්දමක් හෝ පහනක් තියාගන්න.ගිනිදැල්ල මුහුණට ආසන්න වෙන විදියට උස සකස් කරගන්න. ඇස් වලට දැල්ල දිහා අපහසුවක් නැතිව බලා ඉන්න පුළුවන් විදියට උසත් , පහන හා තමන් අතර දුරත් සකසාගන්න.
භාවනා කරන්න ඕනි මේ විදියටයි. ගිනි දැල්ල දිහා දිගු වෙලාවක් බලාගෙන ඉදිමින් තේජෝ තේජෝ ලෙස හිතමින් සිත එකග කරන්න. මීලගට ඇස් වහගෙන පෙනෙන දැල්ල අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් සිත එකඟ කරන්න. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල නොපෙනී යනකොට ටිකක් වෙලා දැල්ල දිහා බලන් ඉදිමින් හිත එකඟ කරන්න
මේ ක්‍රමයේදී ගොඩක් අය උද්ග්‍රහ නිමිත්ත වරද්දගන්නවා. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල කියන්නේ රතුපාට ලපයක් වගේ පෙනෙන ගිනි දල්ලේ හැඩේට තියෙන චායාව නෙවෙයි. ඕනෑම ආලෝකයක් දිහා එකදිගට බලා ඉදියම ඇහේ දෘෂ්ඨි විතානයේ සෛල උත්තේජනය වෙලා ඇස් වහගත්තත් එකදිගට පෙනෙන ලපයක් ඇතිවෙනවා. බල්බ් එකක් දිහා එකදිගට බලන් හිටියත් ඒක වෙනවා. ටික වෙලාවකින් මේක පොඩි වෙලා නොපෙනී යනවා. මේ චායාව ඇතිවෙන්නේ මානසික ක්‍රියාවලියකින් මානසික දියුණුවකින් නෙවෙයි. ඒක ඇසේ සෛල වල කායික ක්‍රියාවලියක්. හිත එක්තැන් වෙන්න පටන් ගන්නකොට ඇත්ත ගිනි දැල්ල ඒ විදියටම ඇස් වහගෙන ඉද්දිත් පේනවා. ඒකයි උද්ග්‍රහ නිමිත්ත. හිත එක්තැන් කරන්න ඕනි මේක දිහා බලාගෙන මිසක් රතුපාට කහ පාට චායාව දිහා බලාගෙන නෙවෙයි.
මේ නිවැරදි උද්ග්‍රහ නිමිත්ත අදුරගන්න පුළුවන් විදියක් තියෙනවා. ගිනිදැල්ල දිහා ගොඩක් වෙලා එකදිගට බලා ඉඳල එකපාරට ඇස් නොපියා වෙන පැත්තක් බලන්න. එතකොට ගිනිදැල්ල ඒ විදියටම පෙනී තිබිලා තත්පරයකින් විතර නොපෙනී යනවා. ඒත් ආලෝක ලපය එකදිගටම පෙනී පෙනී තිබිලා ටික ටික පොඩි වෙනවා. මේ ක්‍රමය කලාම තමන්ට උද්ග්‍රහ නිමිත්තයි ආලෝක ලපයයි වෙන් කරලා අදුරගන්න පුළුවන්.


මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී ගිනි දැල්ල ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන ගිනිදැල්ල තමයි උද්ග්‍රහ නිමිත්ත. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. ටික වෙලාවකින් ඒක නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ගිනිදැල්ල දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න.
මේ විදියට එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කලාම ඇස වහගත්තම ගිනිදැල්ල එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. කලින් පෙනුණු ගිනිදල්ලට වඩා පැහැදිලිව ගිනිදැල්ල පේනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි ගිනිදැල්ල තමා පටිග්‍රහ නිමිත්ත. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. මේ විදියට භාවනා කරනකොට හිත පටිග්‍රහ නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන ඉන්නවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්රතමධ්යානය කියන්නේ.
ප්රතමධ්යානය හදුන්වන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්රතමධ්යානය කියල. ප්රතමධ්යානය තියෙන හිතක ලක්ෂණ 5ක් තියෙනවා.
විතක්ක- නැවත නැවත සිත අරමුණට නැංවීම, නැවත නැවත භාවනා අරමුණ සිහි කිරීම
විචාර- සිත භාවනා අරමුණෙහි හැසිරීම, අරමුණ තුලට බැසගැනීම
ප්‍රීති - සිතේ එක්තැන් බව නිසා, පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙන සතුට
සුඛ - කය සැහැල්ලු වී, කායික වේදනා නොදැනී ගොස් දැනෙන සැපය
එකග්ගතා - සිතේ එකම අරමුණක් පමණක් පවතින ඒකාග්ර බව
තේජෝ කසිණයෙන් ලැබෙන ඉර්ධින්
තේජෝ කසිණ ලැබෙන අයට ලැබෙන ඉර්ධින් විදියට විශුද්ධි මාර්ගයේ දැක්වෙන්නේ මේවා:
-දුම් ඇතිකිරීම
-දිලිසීම
-අඟුරු වැසි ඇතිකිරීම
-තමන්ගේ තේජසින් අනුන්ගේ තේජස යටපත් කිරීම
-කපු ,පුළුන්, දර වැනි දේවල් දැවීමට හැකි වීම
-දිවැසින් විවිද දේ දැකීම
-මරණයේදී ශරීරය ගින්නෙන් දවාලීම
මේ සඳහන් කරලා තියෙන්නේ මුලික දේවල්. මේවට අමතරව කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා.
-කසිණ නිමිත්ත භාවිතා කරලා සිත් කියවීම
-ගිනි කුරු දිහා බලා ඉදිමෙන්ම දවාලන්න හැකි වීම
-ගිනිදැල්ල එහා මෙහා චලනය කරන්න, නවන්න, හැඩය වෙනස් කරන්න හැකි වීම
-ලෝහ නවන්න, දිය කරන්න හැකි වීම
මේ සියලු දේවල් ප්රතම්ධ්යානය ලැබීමෙන්ම කරන්න පුළුවන් දේවල්. ධ්‍යාන ලැබුනම තමන්ට කරන්න පුළුවන් මුලික දේවල් තේරෙනවා. ඒ දේවල් වලට අමතරව කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. ඒවා නිකම් ගුරු මුෂ්ඨි රහස් වගේ දේවල්. මම මෙතන සඳහන් කරපු සිත් කියවීමත් ඒ වගේ දෙයක්. ඒ වගේ සැඟවුණු හැකියා දැනගන්න ලැබෙන්නේ අත්දැකීම් වැඩිවීමෙන් හා දෙවියන්ගේ, ඍෂිවරුන්ගේ උපදෙස් වලින්. ඒ වගේම අලුත් විදියට හිතීමේ පරිකල්පන හැකියාවක් තිබීමත් මේ රහස් එලිකරගන්න උපකාර වෙනවා. ධ්‍යාන වලින් ඉහලට යනකොටත් තව තව හැකියා ලැබෙනවා.
**ධ්‍යාන ලබාගන්න නම් ආරම්භයේදී අඩුමගානේ දවසකට පැයක්වත් භාවනා කරන්න ඕනි. මුලදී අමාරු උනත් හිත එක්තැන් වෙන්න පටන්ගත්තාම එකදිගට භාවනා කිරීම පහසු වෙලා භාවනා කිරීම සැපයක් වෙනවා. හිත එක්තැන් වෙන්න පටන්ගත්තට පස්සේ භාවනා කරන කාලය පැය එකහමාරක්, දෙකක් ගානට වැඩිකරන්න.
**ඕනෑම සමථ භාවනවකදී භාවනා කරන අය මුලා වෙලා වැඩ වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒක තමයි කය සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනෙන අවස්ථාව. භාවනාව සමෘද්ධ වෙනකොට හිත එක්තන්වෙනකොට ශරීරයේ වේදනාවන් නොදනී ගිහින් කය සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනෙනවා. ගොඩක් අය මෙතැනදී භාවනාව නවත්තලා ඒ දැනීම විදින්න යනවා. ඇත්තටම කය පාකරලා අහසේ පාවෙන්න උත්සහ කරනවා. භාවනා කරන්නෙක්ට කරගන්න තියෙන ලොකුම මෝඩකම තමා ඒක. මොකද මේ අවස්ථාවේදී එකදිගට භාවනා නොකර පාවෙන හැගීම විදින්න ගියොත්, අහසේ පාවෙන්න උත්සහ කලොත් ටික වෙලාවකින් හිතේ සමාධිය බින්දුවටම බහිනවා. ශරීරයට දැනුන සැහැල්ලුව නැතිවෙලා යනවා. පාවෙනවා වගේ දැනෙන එක නොදනී යනවා. එතකොට මෙච්චර වෙලා කරපු සියලුම දේවල් ආපහු මුල ඉදන් කරන්න වෙනවා. අත ළඟටම ලැබුණු ධ්‍යානය නොලැබී යනවා. ඒ නිසා තමන්ට කය සැහැල්ලු වෙනවා පාවෙනවා වගේ දැනුනොත් ඒක ගැන හිතන්නේ නැතුව එකදිගටම භාවනා කරන්න. මේ කය පාවෙන හැගීම නිකම් chek point එකක් වගේ එකක්. ඒක පාස් කරන්න හම්බෙන්නේ ඒක ගැන නොහිතා එකදිගටම භාවනා කලොත් විතරයි.
**කය පාවෙනවා දැනෙන අවස්ථාවට කලින් භාවනාව සාර්ථක වෙන්න පටන්ගන්නකොට අමතකම වෙලා තිබුණු මතක එකපාරට මතක් වෙන්න ගන්නවා. අවුරුදු ගානකින් කොහෙත්ම මතකයක් නොතිබුණු දේවල් මතක් වෙනවා. මේ වෙලාවට ඒවා ගැන එකදිගට හිතන්න යන්නෙපා. තමන්ට අතීත මතක මතක් වෙනවා කියල හිතල සතුටු වෙලා තමන් දියුණු තත්වෙකට පත්වෙලා කියල හිතල සතුටු වෙන්න යන්නෙපා. ඒ වගේම තමන්ට අතීත මතක මතක් වෙන නිසා අතීත ආත්ම මතක් කරන්න පුළුවන් වෙයි කියල හිතල අතීතය මතක් කරන්න උත්සහ කරන්නෙපා. මේ අවස්ථාවේදී කොහොම කලත් පෙර ආත්මවත් තමන්ගේ කුඩා කාලයවත් මතක් කරන්න බෑ. ඒවා කරන්න යාමෙන් වෙන්නේ ඒවා කරන්න පුළුවන් තත්වෙට පත්වෙන්න බැරි වෙන එක විතරයි.
** සමහරුන්ට භාවනා දියුනුවෙනකොට අමනුෂ්යන් දෙවියන් පෙනීම් සිදුවෙනවා. ඒ වෙලාවට ඒවා ගැන කිසිම අවධානයක් නොදක්වා එකදිගට භාවනාව කරන්න. ඔබගේ දියුණුව පතන කිසිම දෙවි කෙනෙක් භාවනා කරන මැදදී ඇවිත් පෙනී ඉදලා කතා කරන්න එන්නේ නෑ. ඒ සියලු දේවල් තාවකාලික මුලා වීම් විතරයි. ඒ නිසා ඒවාට මුලා නොවී එකදිගට භාවනා කරන්න.
**ධ්‍යාන ලබාගැනීමට පිනත් අවශ්‍ය වෙනවා. ඒ නිසා හැකි විදියට පොඩි පින්කම් වගේම ලොකු පින්කම් කරලා ප්‍රර්ථනා කරන්න ඒ පුන්‍යනුභාවයෙන් ධ්‍යාන ලැබේව කියලා. හැබැයි ධ්‍යාන ලබාගන්න අපහසු නම් තමන්ට පින් නෑ ඒක හින්දා වැඩක් නෑ කියල හිතල අතාරින්න එපා. භාවනා කිරීමත් පිනක්. එකදිගට භාවනා කිරීමෙන්ම පින සම්පුර්ණ වෙලා ධ්‍යාන ලැබෙන්නත් පුළුවන්. ඒ වගේමයි හැමෝටම හැම භාවනාවම සමෘද්ධ වෙන්නේ නෑ. එක භාවනාවකින් ධ්‍යාන ලබාගන්න කොහෙත්ම බැරි උන කෙනෙක්ට වෙන භාවනාවකින් ඉතා ඉහලට යන්න හැකිවෙන්න පුළුවන්. ඒ නිසා විවිද භාවනා කරලා බලන්න. හැබැයි එකපාර භාවනා දෙක තුන කරන්න යන්නෙපා. එක භාවනාවක් තෝරාගෙන මාස 3ක් එකදිගට කරලා බලන්න. ඒක හරියන්නේ නැත්තම් වෙනත් භාවනාවක් කරන්න ගන්න. එක භාවනාවක් අඩුම ගානේ මාස 3ක් වත් උත්සහ නොකර අතාරින්නෙපා. භාවනා මාරු කර කර නොබලා තමන්ට ගැලපෙන භාවනාව කලින්ම තෝරාගන්න හොදම ක්‍රමය විශුද්ධි මාර්ගයේ විදියට චරිතය නිර්දේශය කිරීම. ඒ ගැන ලිපියක් ඉදිරියේදී වෙනම පොස්ට් කරන්නම්.
**සිහිය නොහොත් සතිය දියුණු කිරීම ඕනෑම ධ්‍යානයක් ලබාගැනීම ඉක්මන් කරනවා. ඉරියාපථ සතිපට්ටානය (click here) පොස්ට් ඒක කියවල ඒ විදියට සිහිය දියුණු කිරීම කරන්න. ධ්‍යාන ලැබුනාම හෝ ධ්‍යාන ලැබෙන්න ආසන්න උනාම ඉබේම සිහිය පිහිටනවා අත්දකින්න ලැබෙනවා. ධ්‍යාන වලට ආසන්න මට්ටමට හිත එක්තැන් වෙන්න භාවනා කලත් භාවනාවෙන් පස්සේ සාමාන්‍ය ජීවිතය ගතකරනකොට පැය 6ක් 7ක් විතර යනකම් හිතේ සිහිය ඉතා හොදින් පිහිටලා තියෙනවා අත්දකින්න පුලුවන්. සමාධිය නිසා සිහිය ඇතිවෙනවා. ඒ වගේම සිහිය නිසා සමාධිය ඇතිවෙනවා.
**ධ්‍යාන ලැබූ විට හා ලැබෙන්න ආසන්න උනාම හිතේ ලොකු නිවීමක් ඇතිවෙනවා. සිතුවිලි වේගය ගොඩක් අඩුවෙනවා. ඒ නිසාම වෙනද ඉදපු සාමාන්‍ය ජිවිතයේ රළු බවක් තේරිලා ශාන්ත විදියට වැඩ කෙරෙනවා. වේගයෙන් ඇවිදින එක කතාකරන එක නවතිනවා, සැර වචන කියන එක නවතිනවා . සාමාන්‍ය ජිවිතයෙන් අපගමනය වෙනවා. හැබැයි පැය 6ක් 7ක් ගියාම ආපහු හිතේ සාමාන්‍ය ගතිය මතුවෙලා එනවා. හිතේ වේගවත් ගතිය රළු ගතිය එනවා. භාවනා කරලා ශාන්ත ගතියක් ඇති උන වෙලාවට කොච්චර හිතුනත් අනිත් මිනිස්සු ඉස්සරහ පවුලේ අය ඉස්සරහ, සාමාන්‍ය සමාජය ඉස්සරහ මේ නිවුණු ගතිය ශාන්ත ගතිය රැකගන්න යන්නෙපා. එකෙන් වෙන්නේ තමන්ව නිකම් පාච්චල් වීම.
**භාවනා කරනකොට හිතේ නිවීමක් ඇතිවෙනවා වගේම හිතේ නිවීමක් තියෙන වෙලාවට ඉක්මණින් භාවනා දියුණුවක් අත්කරගැනීමේ හැකියාවක් තියෙනවා. ලෙඩ උන වෙලාවට, ලොකු දුකකින් ඉන්න වෙලාවකට භාවනා කරලා බලන්න එක්මන්ට හිත එක්තැන් වෙනවා. හැබැයි එකදිගට ගොඩක් වෙලා භාවනා නොකලොත් ඒ එක්තැන් ගතිය නැතිවෙලා යනවා. මොකද ලෙඩින් දුකෙන් ඉන්න වෙලාවට හිත එක්තැන් කරගන්න ලෙසිවෙන්නේ හිත සාමාන්‍ය මට්ටමට වඩා දුර්වල නිසා. භාවනා කරනකොට හිතේ හයිය ටික ටික වැඩිවෙනවා. මෙහෙම වැඩිවෙලා සාමාන්‍ය මට්ටමට හිත පත් උනාම හිතේ වේගයත් සාමාන්‍ය ගානට ඇවිත් හිත විසිරෙන ස්වභාවයට එනවා. හිත සාමාන්‍ය මට්ටමට එනකොටත් භාවනා කර කර හිටියොත් හා එතනින් පස්සෙත් එකදිගට ගොඩක් වෙලා භාවනා කලොත් සමාධියක් ලබාගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් භාවනා කරලා නැවත්තුවොත් සමාධියත් නෑ හිතේ නිවීමත් නෑ.
මේ භාවනා කමටහන් හා උපදෙස් භාවිතයෙන් ඔබත් ධ්‍යාන ලබාගත්තොත් ඒ පින් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදම් කරන්න අමතක කරන්නෙපා.
(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!