පිනෙන් පිරුණු ජිවිතයක් ගත කරන අයුරු

                                                           අපේ ජිවිතයේ සතුට සැපත පහසුව රදාපවතින්නේ පින් කර්ම නිසා. පින කිවුවම එකපාරට ලෞකික දෙයක් කියල හිතුනට ලෝකෝත්තර ජිවිතයේ සාර්ථකත්වයටත් පින් අත්‍යවශ්‍යයි. සත්‍යාවබෝධ කරන පුද්ගලයන් වර්ග 4කට බෙදල බුදුරජාණන් වහන්සේ දක්වල තියෙනවා. ඒ වර්ග කිරීම කරලා තියෙන්නේ පින් සහිත බව හා වීර්ය සහිත බව කියන කරුණු දෙක පදනම් කරලා. ඒ හතරෙන් සුඛා පටිපදා දණ්ඩාභිඥා කියන්නේ පින් සහිත නිසා ඉතාම පහසුවෙන් සත්‍යාවබෝධ කරන පහසුවෙන් ධ්‍යාන ලබන පුද්ගලයන්. මේ නිසා පින කියන දේ ලෞකික ජිවිතයට මෙන්ම ලෝකෝත්තර ජීවිතයටත් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ගොඩක් කාර්යබහුල ජිවිත ගත කරන අය පින් කිරීම තමන්ගේ ජිවිතයේ අන්තිම කාලෙට පටවනවා. නැත්තම් උපන්දිනේට , පෝය දවසට විතරක් සිමා කරනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලොකු පින්කම් කරන්න ගොඩක් සල්ලි ඕනි කියලා. සල්ලි වියදම් නොකර කාර්යබහුල ජිවිත ගතකරන ගමන් කරන්න පුළුවන් මහත්පල වන පින් කම් විශාල ගණනක් තියනවා. ඒවා ගැන දැනුවත් කරලා පිනෙන් පිරුණු ජිවිත ඇතිකරගන්න විදියයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ.

                                      ජිවිතේ සිදුවන දේවල් තීරණය කරන මුලික ක්‍රියාවලි 5ක් තියෙනවා. ඒවා තමයි ලෝක නියාම ධර්ම 5 කියන්නේ. ඒ කියන්නේ උතු බිජ කම්ම ධම්ම චිත්ත කියන 5. මේ නියාම ධර්ම 5 ගැන ධර්මයේ සඳහන් උනාට ඒවා දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි වෙනත් ස්වාමින් වහන්සේ නමක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කලාද කියල හරියට සඳහන් වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය නම් මේ නියාම ධර්ම දේශනා කරලා තියෙන්නේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. මොකද මේ හතරට අයත් නොවන බලපෑම් තියෙනවා ග්‍රහ බලපෑම්, අමනුෂ්‍ය දේව බලපෑම්, උත්සාහය වගේ. එහෙමත් නැත්තම් මේ දේශනා කරපු ස්වාමින් වහන්සේ මිනිස්සු ග්‍රහ බලපෑම් වගේ ඒවාට අන්තගාමි වෙන ඒක වලක්වන්න උවමනාවෙන්ම ඒවා මගහැරලා තියෙනවා.

                                        ඒවා කොහොම උනත් නියාම ධර්ම පහේ බලපෑම විතරක් සැලකුවාම ජිවිතයක සිදුවෙන දේවල් වලින් 95%ක්ම තීරණය වෙන්නේ කර්මය මතයි. අනිත් සියලු දේවල් එකතු කලත් 5%ක් වගේ බලපෑමක් තමා ඒවයෙන්වෙ න්නේ. ඉතින් අපේ ජිවිතයේ 95%ක්ම තීරණය කරන මේ කර්මයේ නරක බලපෑම් ඉවත් කිරීමත් හොඳ බලපෑම් වැඩි කරගැනීමත් සිදුකරන විදියයි මම පැහැදිලි කරන්න හදන්නේ.

බුදුන් වැදීම
දිනපතා ලොකු පිනක් අයත් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි දිනපතා බුදුන් වැදීම, සිල් රැකීම, මෛත්‍රී භාවනා කිරීම හා විදර්ශනා කිරීම. මේ දේවල් වලින් බුදු කෙනෙකුට දානයක් දුන්නටත් වඩා පිනක් වෙන බව වෙලාම සුත්‍රයේදී බුදුන් දේශනා කරලා තියෙනවා.


*මල් පහන් පුජා කරනකොට ඒවා පුළුවන් තරම් පිරිසිදුවට කරනවානම් එකෙන් පින බලවත් වෙනවා. බුදු පිළිමය, බුදු ගෙය, මල් වට්ටිය, පහන නිතර පිරිසිදු කරන්න.

*මල් පිළිවෙලකට ලස්සනට රටාවකට සරසල පුජා කරන්න

*වන්දනා කරනකොට කියන ගාථා වල තේරුම් හොදින් සිහි කරගෙන කියන්න.

*නමස්කාරය, සරණ යාම, පන්සිල් ගැනීම කලාට පස්සේ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගාථා තේරුම් මතක් කරලා කියන්න. ඊට පස්සේ පුජා කරන්න. නිකන්ම පුජා කරනවට වඩා පුජා ලබන පුද්ගලයාගේ ගුණ සිහි කරලා මේ වගේ ගුණ සහිත කෙනෙක්ටයි මේ පුජා කරන්නේ කියල හිතාගෙන පුජා කලාම ඇති විශාල පිනක් අත්වෙනවා.

*පුජා කරනකොට මල් පහන් සුවඳ සුම් 3ට සිමා නොවී සියලු පුජා ද්‍රව්‍ය පුජා කරන්න පුළුවන්නන් ගොඩක් හොදයි. මල්, පහන්, සුවඳ දුම්, පැන්, ආහාර, අෂ්ඨ පාන, චතු මධුර, බෙහෙත්, බුලත් වගේ පන්සලකදී බුද්ධ පුජාවට එකතු කරන සියලු දේ එක් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අත්වෙනවා. ඒත් ඒවා මහා ලොකුවට ගොඩවල් පිටින් පුජා කිරීම අවශ්‍ය නෑ. පුළුවන් තරමින් එකක් දෙකක් තියන්න

*බුදුන් තමන්ගේ නිවසට පිණ්ඩපාතේ සඳහා වැඩම කළා කියල හිතාගෙන ජීවමාන බුදුන්ට මේ පුජා කරනවා කියල හිතාගෙන පුජා කරන්න. ජීවමාන බුදුන්ට පුජා කරනවා කියල හිතාගෙන පුජා කිරීමෙන් නිකන්ම පුජා කරනවට වඩා ලොකු පිනක් වෙනවා.

ඊට පස්සේ දළඳා වහන්සේ වන්දනා කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම, අනෙක් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම, බුදු පසේබුදු අරහත් ධාතු සහිත චෛත්‍යන් වන්දනා කිරීම කරන්න. මේ වන්දනා කිරීමෙන්ම ලොකු පිනක් අත්වෙනවා.

ඊළඟට ටිකක් වෙලා මෛත්‍රී හා විදර්ශනා භාවනා කරන්න. මෛත්‍රී භාවනාව තියෙන්නේ සිත එකඟ කරගන්න විදර්ශනා භාවනාව තියෙන්නේ කෙලෙස් නසන්න. ඒත්  පිනක් කරගන්න හෝ ඒවා භාවිතා කිරීමේ වැරද්දක් නැනේ. මුකුත්ම නොකරනවට වඩා මොනවහරි කරන ඒක හොදයි. බුදුරජාණන් වහන්සේ කුසල් කිරීම වගේම පින් කිරීමත් අනුමත කරලා තියෙනවා. ඒ හින්දා පින් රැස් කිරීමේ අරමුණෙන් හැමදාම බුදුන් වදින වෙලාවට විනාඩි 15ක් විතර මෛත්‍රී හා විදර්ශනා භාවනා කිරීම වැරද්දක් නෑ කියල මම හිතන්නේ.


මහා පුණ්‍ය විපාකයක් ලැබෙන කුඩා කර්ම

 
විමාන වත්ථු වල සඳහන් කුඩා පින් වලින් මහා විපාක ලැබුණු අවස්ථා කීපයක් මම දෙවතානුපස්සනා භාවනාව පොස්ට් එකේ සඳහන් කළා. ඒ වගේ තවත් දේවල් ටිකක් විස්තරාත්මකව නැතුව කෙටියෙන් සඳහන් කරන්නන්

1) බුදුන්ට පිදු මල් පිළිවෙලකට සකස් කිරීම
2) බුදුන්ට මල් පුජා කිරීම
3) ස්ථුප වලට පුද පුජා කිරීම
4) සිල් රැකීම
5) හැකි පමණින් කුඩා දෙයක් හෝ භික්ෂුන්ට දන් දීම
6) භික්ෂුන්ට වැඩ හිදීමට ආසන පිළියෙළ කිරීම
7) අන් අය දන් දීමට පෙළඹවීම
8) ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කිරීම

මේ වගේ පොඩි පින් කිරීමෙන් පවා දිව්‍යලෝක උපත් ලැබී තියෙනවා. ඒ නිසා පොඩිද ලොකුද නොබලා හැම පොඩි පිනක්ම කරන්න. පොඩි පින් වලින් පවා ලොකු විපාකයක් ලබෙනවා.


මගෙන් ඔබට
විමානවත්ථු වල තියෙන ඒවාට අමතරව මම නිතර කරන පොඩි පින් කීපයක් සඳහන් කරන්නම්. මේ දේවල් සඳහන් කරන්නේ මම කරනවා කියල පම්පෝරි ගහන්න නෙවෙයි කියවන අයටත් කරන්න හිතෙන්න ඕනි නිසා.
1)මම කැම්පස් යන කාලේ හිටපු බෝඩිමේ බුදු ගෙය තිබුනේ එළියේ. ඒ ලගම මල් ගහකුත් තියෙනවා. හැමදාම කැම්පස් යනකොට මල් පොඩ්ඩක් කඩල පුජා කරලා යන්නේ. සමහර දවස් වලට එක මලක් විතරක් පුජා කරලත් තියෙනවා. මල් ගොඩක් නැති නිසා පුජා නොකර ඉන්නේ නැතුව එකක් හරි පුජ කරන එකයි වටින්නේ. මේ වගේ පුළුවන් විදියට මල් පහන් සුවඳ දුම් පොඩි ප්‍රමාණයෙන් හෝ පුජා කරන්න.

2)මම පොඩි කාලේ ඉදන්ම වතුරට වැටිලා ඉන්න කුඹි වගේ සත්තුන්ව බේරනවා. සින්ක් එකේ කෑම තිබිල ඒවට කුඹි ඇවිත් හිටියොත් උන් ඒක එකාව අයින් කරනවා. වෙන අය එහෙම නොකරන හින්ද කුඹි මැරෙන ඒක නවත්තන්න සින්ක් ඒක සුද්ද කරන එකත් කළා. උණු වතුර  සින්ක් එකෙන් දානකොටත් බට වල ඉන්න සත්තු මැරෙන හින්දා ටැප් ඒක ඇරලා සිතල වතුරට උණු වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කිරීම කරනවා. කඩවල් වල කන්ටීම් වල මේස උඩින් බෑග් පොත් ලැප් තියනකොට ඒවායේ ඉන්න කුබින්ව පොඩි වෙන ඒක නවත්තන්න ඉස්සෙල්ලම උන්ව පිහදාන එකත් කරනවා.  මේ දේවල් ගැන අද ඉදන් අවදානෙන් ඉඳල බලන්න ගොඩ දෙනෙක් මේවා වෙන ඒක ගැන දන්නෙවත් නෑ. මේවා ගැන අවදානෙන් හිටියම පින් කරගන්න අවස්ථා ගොඩක් පෙනෙන්න ගන්නවා.

3)මකුළු දැල් වල පැටලෙන සත්තුන්ව අයින් කරන එකත් මම ඉස්සර ඉදන් කරපු දෙයක්. හැබැයි මකුළුවා විස විදලා ඉවරනම් අයින් කරන්නේ නෑ කොහොමත් මැරෙන හින්දා හා මකුළුවට ආහාරය නැතිවෙන හින්දා. විස විදින්න කලින් බෙරුවමත් මකුළුවට ආහාරය නැතිවෙනවා. එත් එකට වඩා ජීවිතය බේරීමේ ප්‍රභලකම වැඩි. මේක වැඩක් නැති වැඩක් කියල හිතුනත් මෙහෙම මම බේරපු සත්තු ගොඩක් බේරුවට පස්සේ හොදට පියබලා ගියා. පොඩි කනා මැදිරියන්ව  සම්පුර්නෙන්ම ඔතල තිද්දීත් මම ඉදි කටු වලින් ඒවා අයින් කරලා තියෙනවා. එතකොට සතාව පොඩි නොවෙන විදියට මකුළු දැල් අයින් කරන්නත් ගොඩක් අමාරු වෙනවා. හැබැයි එහෙම අමාරුවෙන් කරලත් ගොඩක් සත්තු බේරලා යැව්වම හොදින් පියාබල තියෙනවා. මකුළුදැල් කදද්දීත් මකුළුවා මැරෙන්නේ නැති වෙන්න හෙමීට කඩන්න.  කාටහරි හිතෙන්න පුළුවන් මකුළුවාගේ ගේ කඩන එක පවක්නේ කියල. මකුලුවට දැලක් හදාගන්න විනාඩි 10න් පුළුවන්. මිනිස්සුන්ට වගේ මාස ගණන් යන්නේ නෑ.

4)බත් කනකොට ළඟ ඉන්න බල්ලන්ට පුසන්ට ලේන්නුන්ට කුරුල්ලන්ට පොඩ්ඩක් හරි දෙන එකත් හැමදාම කළා. එහෙම දෙන්න විදියක් නැත්තන් අඩුමගානේ කුඹි ටිකක් ඉන්න තැනකට හරි බත් ටිකක් දානවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා තමන් වහන්සේ තරම් දානයේ ප්‍රතිපල දන්න කෙනෙක් ඉන්නවනම් කන ආහාර වලින් ඒක කොටසක්වත් නොදී කන්නේ නෑ කියල. ඒ වගේම බුදුන් දේශනා කරලා තියෙනවා කාල ඉවත දාන ඉඳුල් ටිකත් සතෙක්ට ආහාරයක් වේවා කියල අධිෂ්ඨාන කරලයි බුදුවරු ඉඳුල් විසි කරන්නේ කියල. ඒ හින්දා කෑම කන වෙලාවට පොඩ්ඩක් හරි සත්තුන්ට දෙන්න.

5)බස් වල යනකොට හිටගෙන ඉන්න අමාරු අයට සිට් ඒක දීම, වාහනෙන් යනකොට කාටහරි ලිෆ්ට් එකක් දීම කරන්න.

6)අනිත් අයට මා තුලින් පින් කරගන්න දෙන එකත් ඉස්සර ඉදලම කරනවා. මගේ ආච්චිට ගොඩක් වයස නිසා ආච්චි මට දෙන කෑම, බිම, සල්ලි මට ඕනි නොවුනත් ආච්චිට පිනක් වෙන්න කියල මම ගන්නවා. තේ ,කිරි බොන්න ඕනි නොවුනත් හදන්නද ඇහුවම හා කියනවා. ඒ හැම වෙලාවේම එයාට පින වැඩිකරන්න හිතාගෙන මට දෙන දේවල් ගන්න කලින් පුළුවන් තරම් සිල් සමාදන් වෙනවා, භාවනත් කරනවා. එතකොට එයා දෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට නෙවෙයි සිල් සමාදන් උන කෙනෙක්ට. එකෙන් එයාට පින වැඩි. ගෙදර ඉන්න දවසට අම්මා කන්න උයල දෙන නිසා අම්මට පින වැඩිවෙන්න කියල පුළුවන් තරම් සිල් රැකීමත් කරනවා. ගොඩක් වෙලාවට අටසිල් දස සිල් ගන්නවා පින වැඩිවෙන්න ඕනි නිසා. ඒ වගේම එයාල මට කෑම බිම දුන්නට පස්සේ මේ පිනෙන් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබේව කියල ප්‍රාර්තනාත් කරනවා. අපිට හොඳ කරන කෙනෙක්ට එහෙම ප්‍රර්ථනා කලාම ආශිර්වාද කලාම ඒ පිනෙ බලපෑම එයාලට අනිවාර්යෙන්ම පිහිටනවා. මේ දේවල් වගේම මට කවුරුහරි උදව්වක් කලොත් එයාටත් මේ ආත්මයෙත් ලබන ආත්ම වලත් මේ වගේම උදවු ඉල්ලන්නේ නැතුවම ලැබේව කියල ප්‍රර්ථනා කරනවා. අනිත් අයට ආශිර්වාද කිරීමෙන් හා පින් කරගන්න අවස්තාව සැලසීමෙන් අපිටත් ඒ වගේම ප්‍රතිපල ලැබෙනවා

7) ගෙදර හා නැවතිලා ඉන්න බෝඩිම් ඇනෙක්ස් වල එළියෙන් කුරුල්ලන්,ලේනුන් වගේ සත්තුන්ට ලෑල්ලක හෝ පිඟානක කෑම හා වතුර දාන එකෙනුත් ලොකු පිනක් කරගන්න පුළුවන්.

8)මාස 4කට හෝ 6කට සැරයක් ලේ දන් දෙන්න . මරණෙන් පස්සේ ඇස් හා තවත් අවයව හා පටක ලබාදෙන්න ලියකිලිවලට අත්සන් කරන්න. කාර්යබහුල ජිවිතයෙන් සම්පුර්ණයෙන්ම මිදුන දවසකදී පුලුවන්නම් වකුගඩු 2න් 1ක් දන් දෙන්න.

9) පන්සල් වලට ගියාම පහන් වැටවල් වල තියෙන තෙල් තියෙන නිවුන පහන් ආපහු පත්තු කරන්න. නිවුන හදුන්කුරු නැවත පත්තුකරන්න. පහන් හඳුන්කුරු තෙමෙන තැන් වල තියෙනවනම් නොතෙමෙන තැන් වලින් තියන්න. තමන් මුදල් වලට පහන් හඳුන්කුරු ගෙනගියේ නැතත් මේ විදියට ලොකු පිනක් කරගන්න පුළුවන්.

                                      එක කාරණයක් මෙතැනදී සඳහන් කිරීම හොදයි කියල මම හිතනවා; පින් කරගැනීමට හෝ සමාජ සේවා කිරීමට හෝ සත්‍යාවබෝධ කිරීමට අන්ධ භක්තියෙන් වගේ තියෙන තියෙන හැමදේම නිවැරදි කාලය නොබලා දීම හොදයි කියල මම හිතන්නේ නෑ. පින් කරනකොට ශ්‍රද්ධාව වගේම බුද්ධිමත් කම මුලික කරගන්න ඕනි. පින් කරගන්න කියල අනවශ්‍ය කරදර වල පැටලෙන්න හොඳ නෑ. වකුගඩුවක් දන් දෙනවනම් ඊට පස්සේ ආහාර පාලනය බෙහෙත් බිම අඛණ්ඩව කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කරන්න ඕනි තමන්ට ගැලපෙන කාලය බලලා. ඒ වගේම පින් වලට මුදල් වෙන් කරනවානම් තමන්ගේ හා පවුලේ එදිනෙදා වියදම් , වෙනත් අවශ්‍යතා හැමදේම බලලා ජිවිතේ අවුල් නොවෙන විදියටයි පින් කරන්න ඕනි. අනාත පිණ්ඩික සිටුතුමා අතේ සතේ නැති වෙනකම් දන් දුන්නා වගේ, වෙස්සන්තර දෙමාපිය සෙනෙහස නැති කරලා ළමයි දන් දුන්නා වගේ දන් නොදිය යුතුයි කියල මමනම් පෞද්ගලිකව හිතන්නේ. හැබැයි ඉතින් ඒ දේවල් එයාලගේ හිතේ උත්තරීතර කම පෙන්වන ක්‍රියාවන්.


ලොකු පින්කම් වලට පොඩියට දායක වෙන්න

ලොකු පින්කම් කරන්න සල්ලි නැත්තම් ලොකු පින්කම් කරන අයට මුදල් වලින් හෝ අවශ්‍ය භාණ්ඩ ලබාදීමෙන් හෝ ශ්‍රමය ලබාදීමෙන් ලොකු පිනක් කරගන්න පුළුවන්.
-සංඝික දානයක් දෙන කෙනෙක්ට අඳනයක්, අට පිරිකරක් වගේ පිරිකරක් ලබා දීම,
-පන්සල් හා ආශ්‍රම වල ඉදිකිරීම් වලට මුදල් එකතු කරන බැංකු ගිණුම් වලට මුදල් දැමීම
-පන්සල්, පාලම් වගේ ඉදිකිරීම් වලදී ශ්‍රමයෙන් දායක වීම


පින් පොතක්

පිනෙන් පිරුණු ජිවිතයක් ගත කරන්න ලොකුම උදවුවක් තමයි පින් පොතක් පවත්වාගෙන යාම. දවස ගානේ කරන පින් මේකේ ලියන්න. පිටු 40 80 වගේ පොඩි පොතක් ගන්න ඒක තමා හොඳ. මොකද ඒක ඉවර වෙලා අලුත් පොතක් ගන්නකොට අමුතුම සතුටක් එනවා. තමන්ගේ පින් පොත ටික කාලයක් ගිහින් පෙරලලා බලනකොට ලොකු සතුටක් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින් කලාම ඒවා නැවත නැවත සිහි කරලා සතුටු උනාම ඒවායේ ප්‍රභලකම වැඩිවෙනවා කියල.

තමන් කරන පින්  හෝ තමන්ට කරන්න බැරි පින් කිරීමට වෙන අයව මෙහෙයවීමත් ලොකු පිනක් අත්වෙන ක්‍රියාවක්. ඒ වගේම පින් කරද්දී තනියම නොකර සාමුහිකව කිරීමෙනුත් ලොකු පිනක් වෙනවා. සාමුහිකව පින් කලාම එකේ කර්ම පලය විදියට තමන්ට පරිවාර පිරිස ඇතිවීම සිදුවෙනවා. තමන්ට ක්‍රියාවෙන් කරන්න බැරි පින් අදහස් විදියට හරි අනිත් අයට ලබාදෙන්න. පින්කම් ගැන අනිත් අයවත් දැනුවත් කරන්න


ධර්ම දානය
පින් කරගන්න පුළුවන් තවත් මුලිකම ක්‍රමයක් තමයි ධර්ම දාන කිරීම. දාන අතරීන් අග්‍රාම දානය ධර්ම දානය කියල බුදුන් දේශනා කරලා තියෙනවා. ධර්ම දානය අග්‍ර දානය කියන්නේ එකේ තියෙන ශ්‍රේෂ්ඨ බව නිසා. වෙන මොනවා දෙනවටත් වඩා සසරෙන් මිදෙන්න උපකාර වන ධර්මය දීම උතුම් නිසා.
-පොත් පත්තර පත්‍රිකා මුද්‍රණය කිරීම
-මුද්‍රිත ඒවා ලබාදීම
-බ්ලොග් සමාජ ජාල වලින් ධර්මය පැතිරවීම
-පන්සල් වල හා රුපවාහිනී නාලිකා වල ධර්ම දේශනා වලට අනුග්‍රහ කිරීම
ධර්ම දාන කරන්න පුළුවන් විදි කීපයක්.

අට මහා කුසල්
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් කියල නම් කරනවා. මේ පිංකම් අට විශේෂ වන්නේ අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයට  පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති නම් වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් වෙලා අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වීමයි. ඒ නිසා මේ පින් ජිවිතේ එකපාරක් හරි කරගන්න උත්සහ කරන්න.



දස පුණ්‍යක්‍රියා

පින් ගැන ලියන නිසා දස පුණ්‍ය ක්‍රියා මොනවද කියලත් සඳහන් නොකර බෑ

දස පුණ්‍ය ක්‍රියා අතරින් පත්තිදානය ගොඩක් වැදගත්. තමන් පින්කම් කලාම ඒ පින් තමන්ගේ මලගිය ඥාතීන්ට අනුමෝදන් කර " මේ පුන්‍යනුභාවයෙන් අයහපත් තැනක ඉන්නවනම් උසස් උපතක් ලැබේවා, උසස් උපතක ඉන්නවනම් තව තවත් උසස් වේවා , ආයුෂය වැඩේවා වර්ණය වැඩේවා සැපය වැඩේවා බලය වැඩේවා ප්‍රඥාව වැඩේවා,  සැප සහගත ආහාර වස්ත්‍ර වාසස්ථාන යාන පිරිවර බලය ලැබේවා" කියල ප්‍රර්ථනා කරන්න.

පින් දෙවියන්ටද අනුමෝදම් කර "මේ පුන්‍යනුභාවයෙන් දෙවියන්ගේ ආයුෂය වැඩේවා වර්ණය වැඩේවා සැපය වැඩේවා බලය වැඩේවා ප්‍රඥාව වැඩේවා, සැප සහගත ආහාර වස්ත්‍ර වාසස්ථාන යාන පිරිවර බලය ලැබේවා, දිව්‍යනුභාවය වැඩේවා" කියල ප්‍රාර්ථනා කරන්න. නිකන්ම පින් දීමට වඩා මෙහෙම හිතල පින් දීම ප්‍රතිපල දායකයි.



දස කුසල්

පුණ්‍ය ක්‍රියා 10 වගේම කුසල් 10කුත් තියෙනවා. දස කුසල් කියන්නේ දස අකුසලයෙන් වැළකීමට. ඒ කියන්නේ
1-ප්‍රාණඝාතයෙන් වැලකීම
2-සොරකමෙන් වැලකීම
3-කාම මිත්‍යාචාරයෙන් වැලකීම
4-බොරුවෙන් වැලකීම
5-කේලම් කීමෙන් වැලකීම
6-හිස් වචන කීමෙන් වැලකීම
7-පරුෂ වචන කීමෙන් වැලකීම
8-අනුන්ගේ දේවල් වලට ආශා කිරීමෙන් වැලකීම
9-ද්වේශ කිරීමෙන් වැලකීම
10- මිත්‍යා දෘෂ්ටියෙන් වැලකීම

දස කුසල් පුරුදු කිරීමෙනුත් ලොකු පිනක් අත්වෙනවා.

                                               
                                     මේ කරුණු ටික පිළිපදිනවනම් පිනෙන් පිරුණු ජිවිතයක් ඇතිකරගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ජීවිතය පිනෙන් පිරුණම ඉබේම සතුටෙන් පිරෙනවා. මිනිසුන්ගේ හා දෙවියන්ගේ උදවු හා ආශිර්වාදයෙන් පිරෙනවා. කොච්චර පින්කම් කලත් කරදර වල අඩුවක් නැති කාලවල් තියෙනවා. ඒවා කාටත් පොදුයි .ඒ නිසා ඒ වගේ දේවල් නිසා පින් කිරීමට අතපසු කරන්නෙපා. කවදාහරි ප්‍රතිපලය ලැබෙනවා. කරන්න පුළුවන් හැම පොඩි පිනක්ම කරන්න. හැම පොඩි පවකින්ම වලකින්න. සිහිය දියුණු කරගන්න.එතකොට අලුත් අලුත් පින් කිරීමේ අවස්ථා පෙනෙන්න ගන්නවා. මේ ලබාදුන් දැනුමෙන් පින් කරපු වෙලාවට ඒ පින් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා...

Ceylon Dream Bully Kennel

Thank you for watching!

3 comments:

  1. ගොඩක් ප්‍රයොජනවත් වැදගත් ලිපියක්.තව ලිපි ලියන්න

    ReplyDelete
  2. වටිනා ලිපියක්.හුගක් කාරනා ඉගෙන ගත්තා.එයින් අපි දැනුවත් කලාට පිංසිද්දවෙනවා.

    ReplyDelete
  3. හිතේ තිබුන ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු හම්බවුනා.ඒකට ගොඩාක් පින් ඔබතුමාට.

    ReplyDelete

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!