මෛත්රී භාවනාවෙන් ලබාගත හැකි ඉර්ධින්


මෛත්‍රී භාවනාව ඉර්ධින් 

                                       මෛත්‍රී භාවනාව ගැන නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදියක් නෑ.ඒ තරමට රෑ දවල් එක එක විදියෙන් මෛත්‍රී භාවනාව ගැන අහන්න ලැබෙනවා. එත් ඒ ඇහෙන දේවල් වලින් ගොඩක් දෙනෙක් ප්‍රයෝජනය ගන්න බවක් පෙන් නෑ. එකට හේතුව නිතර නිතර ඇහිමත්, සරල භාවනාවක් වගේ පෙනීමත්, මෛත්‍රී භාවනාවෙන් කරන්න පුළුවන් දේවල් ගැන ගොඩක් අය අවබෝදයක් නැති වීමත් වෙන්න පුළුවන්.  ගොඩක් දෙනෙක් මෛත්‍රී භාවනාවෙන් ලබාගන්න පුළුවන් ඉර්ධින් වගේ හැකියාවන් ගැන දැනුවත් නෑ.
                                  මෛත්‍රී භාවනාව අනිත් භාවනා වලට වඩා ඉක්මනින් හිත එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක්. ඒ වගේම ඕනම චරිත ලක්ෂණ තියෙන කෙනෙක්ට ගැලපෙන භාවනාවක්. මෛත්‍රී භාවනාව සරල උනාට පහසුවෙන් වඩන්න පුළුවන් උනාට මහානුභාව සම්පන්න භාවනාවක්. මෛත්‍රී භාවනාවත් ආනාපානසතියත් විදර්ශනාවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ලෝකයට කියා දිය හැකි භාවනා කියල හදුන්වනවා. මෛත්‍රී සමාධියක් සහිත හිතකට අතිවිශාල ශක්තියක් තියෙනවා. ධ්‍යාන නොලැබුනත් යම් තරමක හෝ සමාධියක් ඇතිකරගන්න පුළුවන් උනොත් එමගින් විශාල වාසි ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ ප්‍රධාන අනුසස් 11ක් දේශනා කරලා තියෙනවා.ඒවාට අමතරව මෛත්‍රී භාවනා වඩද්දී තවත් විවිද හැකියාවන් ලැබෙනවා. ප්‍රධාන අනුසස් විදියට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේවා:
 1. සුවසේ නින්ද යාම .
2. සුවසේ නින්දෙන් අවදි වීම
3. භයානක සිහින නොපෙනීම
4. දකින දකින සැමටම ප්‍රිය වීම
5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රිය වීම
6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම
7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම
8. වහා සිත සමාධි වීම
9. මුහුණ පැහපත් වී බැබලීම
10. නොමුලාව කාලක්‍රියා කරන්නට ලැබීම
11. ඒ ජාතියේම රහත් නොවුහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම

                                   
මේ ප්‍රතිපල වලින් 5,8,9 ප්‍රතිපල ඉක්මනින්ම අත්දකින්න පුළුවන්. ඕනෑම භාවනාවක් කරලා හිත සැලකිය යුතු තරමකට සමාධිමත් උනාම මුහුණේ පැහැපත් කමක් ඇති වෙනවා, ඇස් වල කහ පාට ගතිය ගිහින් සුදු පාට ගතියක් එනවා, ඇස් දිලිසෙනවා. මෛත්‍රී භාවනාව වැඩුවාම අනිත් භාවනා වලටත් වඩා මේ දේවල් වෙනවා, මුහුණේ ප්‍රසන්න ගතියට අමතරව සතියක් 2ක් ගියාම ශරීරයේ වර්ණයත් ප්‍රසන්න වෙනවා අත්දකින්න පුළුවන්.
                                   
මෛත්‍රී භාවනාව කරලා ධ්‍යාන මට්ටමට ආසන්න හෝ සමාධියක් හිතේ ඇතිකරගෙන සාමාන්‍ය වැඩ කටයුතු කරනකොට වෙනදට වඩා  අනිත් අයගෙන් උදවු ලැබෙන්න ගන්නවා. මේ ගැන මට මගේ පාසල් කාලේ අත්දැකීමක් කියන්න පුළුවන්. මම මෛත්‍රී භාවනා කරලා ස්කෝලෙට ගිය දවසක ඒ දවස්වල මට සල්ලි උවමනාවක් තිබුන නිසා එදා මම එන්න කලින් බුදුන් වැදලා දෙවියන්ව මතක් කරලා මට මුදල් ලැබෙන්න උදවු කරත්වා කියල හිතලා ආවේ .මම පන්තියට ගියා විතරයි මගේ යාලුවෙක් ලඟට ඇවිත් කතා කර කර ඉදල යන්න හදනකොට කිවුවා මොනවහරි සල්ලි උවමනාවක් තියෙනවනන් කියන්න මට මේ දවස් වල වාසි කියලා. හැබැයි එයාට මම කොයි වෙලාවකවත් මගේ උවමනාව ගැන කියල තිබ්බේ නෑ.  මේ වගේ ඒ දවසෙම වෙනදා නැති විශේෂ සැලකිල්ලක් අනිත් අයගෙන් ලැබුනා. හැබැයි හිතේ තිබ්බ එක්තැන් ගතිය නැතිවෙලා ගියාම කලින් තිබුණු කිසිම දෙයක් අත්දකින්න හම්බුනේ නෑ.මේ වගේ අත්දැකීම් මෛත්‍රී භාවනා වඩනකොට තමන්ට ලබාගන්න පුළුවන්.
                                        මනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා වගේම සතුන්ටත් මෛත්‍රී භාවනා කරන අයව ප්‍රිය වෙනවා. මම මුලින්ම මෛත්‍රී භාවනා කරන්න පටන්ගත්තේ දහම්පාසලේ උගන්වපු ස්වාමින්වහන්සේ නමක් දවසක් භාවනා ගැන උගන්වනකොට මදුරුවෝ කන වෙලාවට මෛත්‍රී භාවනා කරලා බලන්න මදුරුවෝ කන එක නැතිවෙනවා කියල කියපු දේ අහල. මම ගෙදර ඇවිත් එදා හවස මෛත්‍රී භාවනා කරලා බැලුවාම ඇත්තටම කිසිම මදුරුවෙක් මගේ ළඟටවත් ආවේ නෑ. එතනින් පස්සේ තමා මමත් මෛත්‍රී භාවනාව එකදිගට කරලා බැලුවේ. මේ දේ ඕනම කෙනෙක්ට ඉක්මනින් අත්දකින්න පුළුවන් දෙයක්. හොදට හිතේ තරහ නැතිවෙන විදියට හිත නිවෙන විදියට සියලු සත්වයන්ට මෛත්‍රී කරලා මදුරුවන්ටත් මෛත්‍රී කරලා බලන්න මදුරුවෝ කන එක නිකන්ම නවතිනවා. මදුරුවන්ට හොද නරක තේරෙන මනසක් නැති උනත් භාවනා කරන කෙනාගේ හිතින් පිටවෙන සිතුවිලි තරංග හා විශ්ව ශක්ති තරංග වල බලපෑමෙන් සත්තුන්ගේ මනසටත් බලපෑම් වෙනවා.

                                       
ප්‍රධාන අනුසස් වලට අමතරව මෛත්‍රී භාවනාව වඩනකොට ප්‍රායෝගිකව තවත් දේවල් අත්දකින්න පුළුවන් වෙනවා. ජිවිතේ කරදර කාලෙකදී අපල කාලෙකදී මෛත්‍රී භාවනාව කලාම ඒ කරදර ගතිය අඩුවෙනවා හොදට අත්දකින්න පුළුවන්.එකදිගට කරදර වෙනවනම් එක දවසක මයිත්‍රී කරලා ඊලග දවසේ නොකර ඉදලා ආපහු 3වෙනි දවසේ මෛත්‍රී කරලා බලන්න 2වෙනි දවසේදී තමන්ට වෙන කරදර තත්වයේ බලපෑමේ  ලොකු වෙනසක් තියෙනවා දකින්න පුළුවන්. භාවනා කරලා ඒ පිනෙන් මගේ මේ කරදර දුරුවේවා කියල සත්‍යක්‍රියා කලාම පැහැදිලිවම කරදර ගතිය අඩුවෙනවා අත්දකින්න පුළුවන්.     
                                         
මෛත්‍රී භාවනාව සම්බන්ධ අපේ රටේ හිටපු ප්‍රසිද්ධ හිමිනමක් තමයි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමිපාණන් වහන්සේ. උන් වහන්සේ අපවත් වෙන්න ආසන්න කාලයේ කරපු පත්තර සාකච්චාවකදී කියලා තියෙනවා නිතරම මෛත්‍රී භාවනා කල බවත් තරහා සිතක් හිතට ආපු කාලයක්වත් මතක් කරන්නන්ත් බැරි බවත්. උන්වහන්සේ සීසර් සුදුසිංහ සමග කරපු සාකච්චාවකදී කියලා තියෙනවා මෛත්‍රී භාවනාව හොදින් වැඩීමෙන් ලෙඩ රෝග සනීප කරගන්න පුළුවන් කියලා. ඒ සදහා මුලින්ම තමන්ට මෛත්‍රී කරගන්න ඕනි කියල තියෙනවා. හොදින් භාවනා කලොත් අනුන්ගේ ලෙඩ රෝගත් සනීප කරන්න පුළුවන් බවත් කියල තියෙනවා. 

                                           
ඒ වගේම හොදට හිත එක්තැන් වෙන විදියට මෛත්‍රී භාවනා කලාම අනිත් අය වශී කරගන්නවා වගේ දෙයක් කරන්න පුළුවන් වෙනවා. තමන්ට ඕනි කෙනා අරමුණු කරගෙන ගොඩක් වෙලා මෛත්‍රී කලාම වෙනදට නැති අවනත බවක් පක්ෂපාති බවක් එයාගෙන් දකින්න ලැබෙනවා. තමන් කියන ඕනිම දෙයක් එක පාරින් කරනවා. දුර ඉන්න කෙනෙක්ට මෙහෙම මෛත්‍රී කලාම එයාම ටික වෙලාවකින් තමන්ව හම්බවෙන්න එනවා, කෝල් මැසේජ් කරනවා අත්දකින්න පුළුවන්.  ඕනෑම භාවනාවක් කරනකොට තමන්ගේ වටේට රැස් වළල්ලක් වගේ ඇතිවෙනවා. ඒක ආලෝක වළල්ලක් වගේ පෙන්නේ ගොඩක් හිත දියුණු අයගේ විතරයි. අනිත් අයගේ නොපෙනුනාට ඒක යම් තරමකට තියෙනවා.මෛත්‍රී භාවනා කරන අයගේ මේ රැස් වළල්ල වදින සීමාවට එන ඕන මනුස්සයෙක් හෝ අමනුස්සයෙක්ට භාවනාව කරන කෙනා ගැන ඉබේම පැහැදීමක් ඇතිවෙනවා. ඒක සිද්දවෙන්නේ තමන්ගේ සිතෙන් පිටවෙන සිතුවිලි හා විශ්ව ශක්ති රැස් මගින් .මේ විදියට තමන්ව අත්අඩංගුවට ගන්න එන්න ඉදපු OIC කෙනෙක්ව අනගාරික ධර්මපාල තුමන් විසින් වශිකරගත්ත ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ගොඩ දෙනෙක් අහල ඇති. OICගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ධර්මපාල තුමා මෛත්‍රී භාවනා කරලා තියෙනවා.පොලිසියෙන් එනකොට බැන බැන ආපු OIC ධර්මපාලතුමාගේ අතට මාංචු දානකොට අඩන්න අරන් තියෙනවා.  

                                           
අමනුෂ්‍ය දෝෂ වලින් මිදීමටත් මෛත්‍රී භාවනාව උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී භාවනා කරන කෙනෙක්ට අමනුෂ්‍යයෙක් කරදර කරනවානම් ඒක ඒ අමනුෂ්‍යයාට දෙපැත්ත කැපෙන කඩුවක් අත් 2න් තද කරගන්නවා වගේ ප්‍රතිපල අත්වෙන වැඩක් කියලා. හැබැයි මන්තර ගුරුකම් වලින් කරපු අමනුෂ්‍ය කරදර කඩන්නනම් භාවනාව යොදාගන්න අමාරුයි. කොඩිවින හූනියම් වගේ දේවල් වල බලපෑමෙන් මිදෙන්න නම් මෛත්‍රෙ භාවනාවෙන් චතුර්ථධ්යානයවත් ලබාගෙන තියෙන්න ඕනි.
                                           ඒ වගේම මෛත්‍රී ධ්‍යානයක් තියෙන කෙනෙක්ට ලේසියෙන්ම දෙවියන්ගේ හා අමනුශ්‍යන්ගේ උදවු ලබාගන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරන කෙනෙක්   බුදුන් වදින වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය දෙවියන් සිහිපත් කරලා ,පින් අනුමෝදන් කරලා කිවුවම නොහිතන විදි වලින් උදවු ලැබෙනවා.
                                               තමන්ට සතුරු අයගේ සතුරුකම් නැතිකරගන්නත් මෛත්‍රී භාවනාවෙන් පුලුවන්. තමන්ට එදිරිවාදීකම් කරන කෙනෙක් ඉන්නවනම් සාමාන්‍ය විදියට මෛත්‍රී භාවනා කරලා ඉවරවෙලා ඊට පස්සේ පැයක් විතර තමන්ට අවශ්‍ය කෙනාව විතරක් අරමුණු කරගෙන මෛත්‍රී කරලා බලන්න ඕනිම තරහ කමක් නැතිවෙලා යනවා. බුදුරජාණන් වහන්සේත් නාලාගිරි ඇතාව ධමනය කරන්න යොදාගත්තේ මෛත්‍රී කිරීම.  
                                              බුදුරජාණන් වහන්සේ වේළාම සුත්‍රයේදී දේශනා කරලා තියෙනවා බුදුවරු 100 නමකට දානයක් පුජා කරනවට වඩා පිනක් එලදෙනකගෙන් කිරි දොවන තරම් කාලයක් (විනාඩි 30ක් විතර) මෛත්‍රී භාවනා කිරීමෙන් රැස් වෙනවා කියලා. ඒ නිසා මෛත්‍රී භාවනාව එසේ මෙසේ භාවනාවක් නෙවෙයි.      

                                                     
                                                
මෛත්‍රී භාවනාව දියුණු කරපු අයට අනතුරු කරදර වෙන්නේ නෑ. ධ්‍යාන මට්ටමට වගේ දියුණු වෙලා නම් කිසිම කරදරයක් වෙන්නේ නෑ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. උත්තරා නම් සිටු දේවියට සිරිමා ඝනිකාව උණු තෙල් වක් කරන්න එනකොට උත්තරා තමන් පුරුදු කරපු මෛත්‍රී භාවනාව සිහිපත් කරලා සමවැදිලා සිරිමාවට මෛත්‍රී කළා. මේ මෛත්‍රී කිරීමේ පිනෙන් මට කිසිම අනතුරක් නොවේවා කියල අධිෂ්ඨාන කළා. ඒ වෙලේ සිරිමාව වක් කවපු උණු තෙල් උත්තරාගේ ශරීරයට වැටුනත් කිසිම කරදරයක් උත්තරාට උනේ නෑ. මේක තමා සිරිමා ඝනිකාව මහන වෙන්න මුල් වුන හේතුව.                                                                


                                        ගොඩක් දෙනෙක් මෛත්‍රී භාවනාව කියලා කරන්නේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා කියලා හිතන එක. එත් ඒක මෛත්‍රී භාවනාව නෙවෙයි කරුණා භාවනාව. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ අනුව වඩන භාවනා
4ක් තියෙනවා. ඒවායින් මෛත්‍රී භාවනාවේදී කරන්නේ මම තරහා නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා ,දුක් පිඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා කියලා හිතන එක. නිරෝගී වෙම්වා ආදිය අයිති වෙන්නේ කරුණා භාවනාවට. එත් මේ 2න් මොකක් කලත් එක වගේම ප්‍රතිපල ලැබෙනවා. සමාධිය ඉක්මනින් ඇතිකරගන්න උදවු වෙන්නේ ඉස්සෙල්ලම පැය කාලක්  විතර තමන්ට මයිත්‍රී කරගෙන දෙවනියට අනුන්ට හෝ තමන්ට අනුන්ට දෙපිරිසටම කරමයි. පටන්ගන්නකොටම අනුන්ටත් මෛත්‍රී වඩන්න ගියාම මෛත්‍රී අරමුණු ටික හිතට හරියට අරමුණු වෙන් නෑ. තමන්ට මයිත්‍රී කරනකොට තරහ නැත්තෙක් වෙවා , සුවපත් වේවා, නිදුක් වේවා කියල හිතන දේවල් වල තේරුම හොදට හිතට තේරෙනවා දැනෙනවා. ඒ වගේම තමන්ට මෛත්‍රී කරනකොට හිතේ ඇතිවෙන සහනය නිසා ප්‍රීති සුඛ එකග්ගතා ධ්‍යානාංග හිතේ ඇතිවෙලා සමාධිය ඇතිවෙන්න අවශ්‍ය අඩිතාලම වැටෙනවා.  මෛත්‍රී භාවනා කරනකොට හෙමින් තාලයකට හිත නිවෙන විදියටයි මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා ආදිය හිතන්න ඕනි.


                                                 
මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන් මෙෙත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.    මහග්ගත චේතෝ විමුක්තියේදී කරන්නේ තමන් කේන්ද්‍ර කරගෙන වටේට ක්‍රමයෙන් මෛත්‍රීය පැතිරවීම; මුලින්ම තමන්ට ඊළගට තමන් ඉන්න නිවසේ ඉන්න අයට ඊළගට තමන්ගේ ගමේ අයට, නගරයේ අයට, ප්‍රදේශයේ අයට, රටේ අයට, ලෝකයේ අයට ,සියලු ලෝක වල සියලු සත්වයන්ට විදියට.

මම වෙෙර නැත්තෙක් වෙම්වා
මම තරහා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.
මා මෙන්ම,
මෙම නිවසේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම, මේ ගමේ සිටින සියලුම සත්වයෝ..
මේ නගරයේ සිටින සියලුම සත්වයෝ....
මේ ප්‍රදේශයේ සිටින සියලුම සත්වයෝ...
මේ රටේ සිටින සියලුම සත්වයෝ...
මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ...
සියලු ලෝක වල සියලුම සත්වයෝ..
 ආදී විදියට මෛත්‍රී කරන්න.                        


අප්පමාන චේතෝ විමුක්තියේදී කරන්නේ දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම.
මම වෙෙර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.
මා මෙන්ම,
උතුරැ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
,උතුරැ අනු දිශාවේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
,නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,නැගෙනහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,,
දකුණු අනු දිශවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..,
බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
බටහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
උඩ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...සියලු දිශා වල සිටින සියලුම සත්වයෝ...
 ආදී විදියට මෛත්‍රී කරන්න.

මිට අමතරව අපා සත්වයෝ, දෙපා සත්වයෝ. සිවුපා සත්වයෝ මනුෂ්‍යයෝ ,තිරිසන් සත්වයෝ....විදියට හිතලත් භාවනා කරනවා .ඒත් බුදුන් දේශනා කලේ මුල් ආකාර 2 විතරයි. අනිත් ක්‍රම වලිනුත් සමාධිය ඇතිවෙන්නැත්තේ නෑ. මොන විදියෙන් කලත් අමනුෂ්යන් ගැන මලගිය ඥාතින් ගැන වෙනම හිතලා මෛත්‍රී කරන එක කොහෙත්ම කරන්න හොද නැ. එතකොට ඒ අමනුෂ්‍යයන්ව ඇදිල එනවා වගේ වෙනවා. එතකොට වෙන්නේ එයාලගේ ආශිර්වාදය ලැබෙන එක නෙවෙයි අමනුස්ස දෝෂ ඇතිවෙන එක.
ධ්‍යාන ලබාගැනීම සඳහා මුලින්ම භාවනාව සම්පුර්ණයෙන්ම කරලා හිත හොදට එක්තැන් උනාම මම සුවපත් වෙම්වා කියන දේ විතරක් එකදිගට පැයක් විතර හිතලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන දේ විතරක් එකදිගට හිතමින් භාවනා කරන්න. අරමුණු ගොඩක් හිතනවට වඩා එකක් විතරක් හිතන එකෙන් ධ්‍යාන ලබාගන්න ලේසි වෙනවා. හැබැයි සම්පුර්ණ භාවනාවම එකදිගට කරලත් ධ්‍යාන ලබාගන්න පුළුවන්. පුද්ගලයාගේ හැටියට තමන්ට හරියන විදිය වෙනස් වෙනවා. මේ ක්‍රම දෙකෙන් එකක් තෝරාගෙන එකදිගට මාස 3ක් විතර කරලා බලන්න. අතරමැදදී අනිත් ක්‍රමයට මාරු වෙන්නෙපා කොච්චර හිතුනත්. මාස 3කින් පස්සේ ධ්‍යාන ලබාගන්න අමාරු උනානම් අනිත් ක්‍රමයට මාරු වෙලා ඒ විදියට භාවනා කරන්න.

අනිත් භාවනා වගේ මෛත්‍රී භාවනාව එක තැනකට වෙලා විතරක් කල යුතු නෑ. ධ්‍යාන ලබාගැනීම සඳහා භාවනා ආසනයකින් වාඩි වෙලා එක තැනක ඉදන් භාවනා කරන්න ඕනි .ඒත් ඊට අමතරව අනිත් වෙලාවටත් භාවනා කලාට කමක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව යානාවක් වගේ පුරුදු කරන්න කියලා. ඒ කියන්නේ ඇවිදින ගමන් කන බොන ගමන් වගේ හිත නිදහස් හැමවෙලේම මෛත්‍රී භාවනාව වඩන්න. අනිත් භාවනා වලට මෙහෙම කරන්න කියල දේශනා කරලා නෑ. හැබැයි මෛත්‍රී භාවනාව භාවනා කරන වෙලාවට අමතරව අනිත් වෙලාවටත් පුරුදු කරන්න කියල දේශනා කරලා තියෙනවා. වෙනත් භාවනා මේ වගේ හැම වෙලේම කරන්න එපා.

(මෙම ලිපි අවසරයකින් තොරව වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)




(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!