අසිරිමත් බුදුරැව දර්ශනය වන බුද්ධානුස්ති කමටහනක්

 භාවනා කරන බෞද්ධ අය අනිවාර්යෙන් කරලා තියෙන භාවනා තුනක් තමයි මෛත්රී, ආනාපානසති හා බුද්ධානුස්සති භාවනා තුන. 



බුද්ධානුස්සති භාවනාව විදියට අපි දන්නේ නව අරහාදී බුදු ගුණ සිතින් මෙනෙහි කිරීමේ භාවනාව. බුද්ධ දේශනාවේ තිබෙන ඒ භාවනාවෙන් සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ පිළිබඳව සිත එක්තැන් කර බුදුන්ගේ ගුණ දැකීම. එත් ඒ බුද්ධානුස්සති භාවනාව එකදිගට 2500 වතාවක් නව අරහාදී බුදුගුණ නැවත නැවත සිහිපත් කරලා භාවනා කලොත් බුදු රුවක් සිතේ මැවිලා පෙනෙන බවක් ගොඩ කාලයටකට කලින් පොතක තිබිලා මට කියවන්න ලැබුනා. ඒක ඇත්තද කියල බලන්නත් එක්ක බුද්ධානුස්සති භාවනාව වඩන අතරේ අහම්බෙන් කියවන්න ලැබුණු රේණුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොතක තිබිල බුදුරුව දර්ශනය වීම ස්ථිරවම සිදු වෙන වෙනත් බුද්ධානුස්ස්සති කමටහනක් කියවන්න ලැබුනා. මේ කමටහන මගින් බුදුරුව දර්ශනය වීම ස්ථිරවම සිදුවෙන නිසාත් මේ ගැන ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා නිසාත් මේ ගැන දැනුවත් කරන්නයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ. මේ භාවනාව බුරුමයේ ගාන්ධායුන් ශයාඩෝ නම් ස්වාමින් වහන්සේ හඳුන්වා දෙන ලද භාවනාවක්.

බුද්ධ දේශනාවේ තියෙන බුදුගුණ මනසිකාර භාවනාව නොදන්නා අය ඉන්න පුළුවන් නිසාත් මේ දවස් වල ෆේස්බුක් එකේ සිංහල බෞද්ධයෝ කියල ලොකුවට තමන්ව හඳුන්වාගන්න බොහෝ දෙනෙක් එක්ක කතා කරලා බැලුවම බුදුගුණ නවයේ තේරුම්වත් නොදන්නා බෞධයෝ ඉන්නා නිසාත් දැනුවත් කිරීමක් විදියට මුලින්ම බුදු ගුණ මනසිකාර භාවනාව පැහැදිලි කරලා ඉන්නම්.
බුදුගුණ මනසිකාර බුද්ධානුස්සතියේදී සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අර්ථ සහිතව සිහිපත් කිරීම.

*බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ ආදී සියලු කෙලෙස් නැසූ හෙයින්, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්, රහසින්වත් පව් නොකළ හෙයින්, දේව බ්රහ්ම මනුෂ්ය සියලු ලෝ වැසියන්ගේ ආමිස පුජා ප්රතිපත්ති පුජා ලැබීමට සුදුසු වන හෙයින් "අරහං" වන සේක.

* බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේ විසින් චතුරාර්ය සත්ය ධර්ම අවබෝධ කර බුද්ධත්වයට පත්වූ හෙයින් " සම්මා සම්බුද්ධ" වන සේක.

* බුදුරජාණන් වහන්සේ අෂ්ඨ විද්යා හා පසළොස් චරණ ගුණයන්ගෙන් සමන්විත හෙයින් "විජ්ජා චරණ සම්පන්න " වන සේක.



* බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවනට පැමිණ වදාළ හෙයින් "සුගත" වන සේක.

* බුදුරජාණන් වහන්සේ මනුෂ්ය ලෝක අමනුෂ්ය ලෝක දේව බ්රහ්ම ලෝක පරසක්වල ලෝක ආදී සියලු ලෝක අවබෝධ කළ හෙයින් " ලෝකවිදූ" වන සේක.

* බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් ධමනය කර අනුත්තර මාර්ගයට පමුණුවාලු හෙයින්ද ධමනය කළ නොහැකි වූ මනුෂ්යන් දෙවියන් ධමනය කළ හෙයින්ද " අනුත්තර පුරිස ධම්ම සාරති" වන සේක.

* බුදුරජාණන් වහන්සේ මනුශ්යන්ටද දෙවියන්ටද දුකින් මිදීමේ මාර්ගය පෙන්වන එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් " සත්ථා දේව මනුස්සානං" වන සේක.

*බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්ය ධර්මයන් අවබෝධ කර අන් ලොසතුන්ටද අවබෝධ කරවා සසරින් එතෙර කරවූ හෙයින් " බුද්ධ " වන සේක.

* බුදුරජාණන් වහන්සේ ලෞකික සැප සම්පතෙන් පිරිමටද, මහා පුරුෂ ලක්ෂණ ලැබීමටද, අසම සම අග්ර ඉර්ධි අභිඥා ලැබීමටද, ලෝකෝත්තර උත්තරිතරත්වයට පත්වීමටද මහා භාග්යවන්ත හෙයින් " භගවා" වන සේක.

මේ විදියට බුදුගුණ සියල්ලම නැවත නැවත සිහිපත් කිරීම හෝ අරහං බුදු ගුණය වැනි එක් බුදුගුනයක් පමණක් නැවත නැවත සිහිපත් කරමින් බුදුගුණ භාවනාව වඩන්න පුළුවන්. බුදුගුණ වල අර්ථ හොදින් මතක හිටියට පස්සේ අරහං අරහං ආදී විදියට බුදු ගුණය පමණක් හිතමින් භාවනා කරන්න.

බුදු රුව දර්ශනය වන භාවනාවේදී සිදුකරන්නේ තමන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වජ්රාසනය මත පද්මාසනයෙන් වැඩ හිදිනවා කියල සිතින් මවාගෙන බුද්ධ ශරීරයේ දෙපතුලේ ඉදන් හිස් මුදුන දක්වාත් හිස් මුදුනේ සිට දෙපතුල් දක්වාත් සියලුම දේහ ලක්ෂණ මෙනෙහි කිරීම.

මුලින්ම පහසු භාවනා ආසනයකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා බුදුන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ පෙනී සිටින සේක්වා කියල හිතන්න. මීලගට බුදුරජාණන් වහන්සේගේ දෙපතුලේ තිබෙන ච්ත්ර ආදී හැඩයන්, දෙපතුල් වල රතඹුල් පාට, බුද්ධ රශ්මි මාලාව නිසා රන්වන් පාටින් දිලිසෙන ඇත් දළ පාට සම, තද රතු පාට චිවරය, පාද, දණහිස්, උකුල, ඉන, උඩුකය, උරහිස්, දෙඅත්, රතඹුල් පාට දෙඅත්ල, රැලි තුනක් පිහිටා තිබෙන ගෙල, නිකට මට්ටම තෙක් දිගින් තිබෙන දෙකන්පෙති, දෙතොල්, නාසය, දිලිසෙන පිරිසිදු දෙඇස්, දෙබැම, දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව සහිත නළල, දකුණට කැරකිලා පිහිටන හිසකෙස්, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් පිටවන රන්වන් පාට රශ්මි මාලාව, ශීර්ෂය වටා රවුමට පිහිටන රශ්මි මාලාව හොදින් මෙනෙහි කරමින් සිතින් දකින්න.

මේ බුද්ධ දේහ ලක්ෂණ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න මහා පුරුෂ ලක්ෂණ වල විස්තර උදවු වෙන නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කෙටි විස්තර මේ photo එක කියවල හිතටගන්න 



මේ කමටහන වැඩිම බුදු ගුණ මනසිකාරය වැඩීමට වඩා මුලදී අමාරුයි. මොකද මේකෙදි සිතින් මවාගැනීමක් සිද්ද කරන්න තියෙන නිසා. මේකට ගොඩක් හිත වෙහෙසවන්න වෙන නිසා ආරම්භයේදී මේක අමාරු වෙනවා. ඒත් අමාරුවෙන් හෝ එකදිගට පුරුදු කලොත් වැඩි කාලයක් නොගිහින්ම හොදින් සිත එක්තැන් වෙනවා.

භාවනාව දිනපතා පුරුදු කලොත් වැඩිකල් නොගිහින්ම සැබෑ විදියටම බුදු රුව දර්ශනය වීම සිද්දවෙනවා අත්දකින්න ලැබෙනවා. මේ වෙලාවට ඇඟ කිලිපොලා යන සතුටක් හා ශ්රද්ධාවක් ඇතිවෙනවා. මේ භාවනාවේදී උද්ග්රහ හා පටිග්රහ නිමිති වෙන්නේ මේ දර්ශනය වෙන බුදුරුව. බුදුරුව දර්ශනය වන මට්ටමට ආවට පස්සේ ටික දවසක් තවදුරටත් ඒ භාවනාවම ප්රගුණ කරලා ඊට පස්සේ පෙනෙන බුදුරුව සිතින් බලා ඉදිමින්ම බුදුගුණ මෙනෙහි කිරීම සිදුකරන්න කියලයි රේණුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොතේ සඳහන් වෙන්නේ. සියලු බුදුගුණ මෙනෙහි කිරීමට වඩා එක් ගුණයක් මෙනෙහි කිරීම සිත එක්තැන් කරන්න උපකාර වෙන නිසා අරහං බුදු ගුණය පමණක් මෙනෙහි කරන්න කියල සඳහන් කරලා තියෙනවා. බුදුරුව දිහා සිතින් බලා ඉදිමින් " බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ හෙයින්, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්, දෙව් මිනිස් ආදී සියලු ලෝ වැසියන්ගේ ආමිස පුජා ප්රතිපත්ති පුජා ලැබීමට සුදුසු හෙයින් අරහං වන සේක" කියල හිතමින් භාවනා කරන්න.

බුදුගුණ මනසිකාර භාවනාවෙන් සිත එක්තැන් කරන්න පුළුවන් උපරිම ප්රථම ධ්යාන මට්ටමට පමණයි කියලයි ත්රිපිටක දේශනා වල සඳහන් වෙන්නේ. එත් මේ කමටහන මගින් දෙවන තුන්වන ධ්යාන වලට පමණ සිත එක්තැන් කරන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම බුදු රුව පෙනෙන මට්ටමට සිත එක්තැන් කරගෙන ටික දවසක් ඒ බුදුරුව අරමුණු කරගෙන හොදින් පුරුදු වෙනකම් භාවනා කරන්න. ටික දවසකින් පස්සේ ඒ බුද්ධ රූපය දෙගුණයක් පමණ විශාල වෙනවා කියල හිතින් දකින්න, ඒ ගමන් බුදු රුව දෙගුණයක් පමණ විශාල වේවා කියල අධිෂ්ඨාන කරන්න. මෙහෙම උත්සහ කරනකොට බුදුරුව දෙගුණයක් විශාලව පෙනීම සිද්දවෙනවා. ඒ විශාල උන බුදු රුව අරමුණු කරගෙන දවස් කීපයක් භාවනා කරන්න. මේ විදියට තුන් ගුණයක් පස් ගුණයක් ආදී විදියට හිතල ක්රම ක්රමයෙන් විශාල කරගෙන ගිහින් අන්තිමට මුළු විශ්වය සිසාරා පැතිරෙන තරම් බුදුරුවක් දකින්න උත්සහ කරන්න.

ආරක්ෂක භාවනාවක්

තමන් බය උන වෙලාවකට හෝ අමනුෂ්ය කරදර ආදියෙන් මිදෙන්න භාවිතා කරන්න පුළුවන් භාවනාවක් වැනි ක්රමයක් තියෙනවා. මේකනම් මම තනියෙන්ම හිතල දියුණු කරපු ක්රමයක්. තමන්ට අනතුරක් වගේ වෙලාවකට හිතන්න "මම අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මට තියෙනවා, බුදුසරණ ගිය මගේ හදවත තුල බුදුරජාණන් වහන්සේ වැඩ හිදිනවා" කියල හිතල හිතින් දකින්න තමන්ගේ හදවතේ බුදුරජාණන් වහන්සේ වැඩ හිදිනවා කියලා. ඊළඟට හිතින් දකින්න තමන් වගේ දෙගුණයක් පමණ විශාලව බුදුරජාණන් වහන්සේ ශක්තිමය කයකින් වැඩ හිදිනවා. ඒ කය තුල තමන් ඉන්නවා, බුදුරජාණන් වහන්සේගේ සතර දිශාවෙන් සතරවරම් දෙවිවරු වැඩ ඉන්නවා,තමන්ව හැම අතින්ම ශක්තිමය බුද්ධ ශරීරයෙන් වට වෙලා තියෙනවා, ඒ බුද්ධ ශරීරයේන් පිටවන රශ්මිය නිසා තේජස නිසා කිසිදු අහිතකාරි බලවෙගකයට තමන්ට ලගාවෙන්න බැරිවෙනවා කියල. මේ භාවනාව ඕනෑම භයක් ඉක්මණින් නැතිකරගන්න උපකාර වෙනවා.

මේ භාවනා දෙකේදීම මුලදී මනසින් මවාගැනීමක් තියෙන නිසා කවදාහරි තමන්ට මානසික රෝගී තත්වයක් තිබිල තියෙන අය මේ භාවනා දෙක කරන්න එපා. භාවනාවේදී බුදුරුව පෙනෙන්නේ සිතේ එක්තැන් වීම නිසා. එත් මානසික රෝගී තත්ත්ව නිසා හිතේ එක්තැන් කමක් නැතුව උනත් විවිද දේ මැවිලා පෙනෙන්න පුළුවන්. සාමාන්ය මානසික තත්ත්ව තියෙන අයට එහෙම දෙයක් වෙන්නේ නෑ. හිත එක්තැන් උනාම පෙනෙන බුදු රුව සිතේ මායාවක් නෙවෙයි. අපේ හිතට මේ විශ්වයේ තියෙන ඕනෑම දෙයක් අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. කාලයේ හා අවකාශයේ බලපෑම් කඩාගෙන උනත් බුදුරුව දැකීමේ හැකියාව සිතකට තියෙනවා. මේ භාවනාව මගින් සිත එක්තැන් කරලා සත්ය බුදුරුව සිතින් ස්පර්ෂ කිරීම. ඒ නිසා භාවනාව දියුණු වන සියලු දෙනාටම පෙනෙන්නේ එකම බුදුරුවක් මිසක් තමන් හිතාගෙන ඉන්න තම තමන්ගේ මතයට ගැලපෙන බුදුරුවක් නෙවෙයි. 

සියලු දෙනාට මේ භාවනාව තුලින් මෙන්ම ධර්මය තුලින්ද බුදුන් දැකීමට හැකියාව ඉපදේවා...!!!





(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!